සීමිත පන්දුවාර තරග වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීම සඳහා තරංග මෙම තීරණය ගෙන තිබේ. © Getty Images

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දුනාර නායක උපුල් තරංග මාස 6 ක කාලයක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳුදා (සැප්තැම්බර් 4දා) නිවේදනය කළේය.

ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන් සුදු පන්දුවේ ක්‍රිකට් තරග සඳහා වැඩි අවධානයක් යොමුකිරීම වෙනුවෙන් තරංග ටෙස්ට් පිටියෙන් මාස හයක කාලයක් ඉවත්වීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව පාකිස්තානය හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම්කළ මූලික සංචිතයට තරංග ඇතුළත් නොවේ. තරග දෙකකින් යුත් මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සැපැත්ම්බර් 28 දා සිට ඔක්තෝබර් 10 දක්වා පැවැත්වෙයි. එයින් එක් තරගයක් දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීමටද නියමිතය.

2015 වසරේදී කොදෙව් කණ්ඩායම හා පැවැති ටෙස්ට් තරගාවලියේදී උරහිසේ ආබාධයකට ලක්වූ ධම්මික ප්‍රසාද් නැවතත් සංචිතයට නම් කර තිබේ.

ශ්‍රී ලංකාව ඉන්දියාව හා පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙසත් එක්දින තරගාවලිය 5-0ක් ලෙසත් පරාජයට පත්විය. තරගාවලිය නිමා කරමින් පැවැත්වෙන අවසන් එක්දින තරගය බදාදා පැවැත්විමට නියමිතය.

සීමිත පන්දුවාර තරගාවලියේදී ආබාධයකට ලක්වූ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පාකිස්තාන තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවනු ඇත.

මූලික සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, සදීර සමරවික්‍රම, රංගන හේරත්, සුරංග ලක්මාල්, ණුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ළිහිරු කුමාර, ජෙෆ්රි වැන්ඩසේ, මිලින්ද සිරිවර්ධ, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, ඩිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, රොෂේන් සිල්වා, අකිල ධනංජය, චරිත් අසලංක, ශාමින්ද එරංග, ධම්මික ප්‍රසාද්